
අලුත් අවුරුදු නැකැත් කාල ගණනය මේ සමග ඇති අතර නැකැත් විස්තරය ඊට පහළින් තිබේ.
නැකැත් සඳහා කාල ගණනය
පුණ්‍ය කාලය - 13 ඉරිදා 08.57 PM
අවසන් විය
අලුත් අවුරුදු උදාව - 14 සඳුදා 03.21 AM
අවසන් විය
ආහාර පිසීම - 14 සඳුදා 04.04 AM |ඇඳුම තඹ|දිශාව දකුණ
අවසන් විය
ආහාර අනුභවය - 14 සඳුදා 06.44 AM |ඇඳුම මුතු පාට/සුදු|දිශාව දකුණ
අවසන් විය
පුණ්‍ය කාලය නිමාව - 14 සඳුදා 09.45 AM
අවසන් විය
හිස තෙල් ගෑම - 16 බදාදා, 09.04 AM |ඇඳුම කොළ|දිශාව උතුර
අවසන් විය
රැකියාවට පිටත්ව යාම -17 බ්‍රහස්, 09.03 AM |ඇඳුම රන්|දිශාව උතුර
අවසන් විය
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන ඉරිදා 08.57 PM සිට අප්‍රේල් මස14 වන සඳුදා 09.45 AM
පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද අතර ඇති සංක්‍රාන්ති සමය වන නොනගතය මේ නමින් හැඳින් වෙයි.
මීන රාශියේ අවසානය සහ මේෂ රාශියේ ආරම්භය අතර කාලයේ සුබ නැකැත් නොමැති වෙලාව ‘නොනැකතය’ නම් වෙයි. ‘නැකත් නැත’ යන්න එහි අදහසයි. මෙම අගුණ ඵල සහිත කාලච්ඡේදයේදී වැඩපළ නොකළ යුතු බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.
එසේ වුවද මෙම කාලය පින්කම් හි නිරතවීම උචිත බවද දක්වා තිබේ. මේ නිසාම මෙයට ‘පුණ්‍ය කාලය’ ලෙස අන්වර්ථ නාමයක් ද තබා ඇත. මෙලෙස පුණ්‍ය කර්මයන්හි යෙදීමෙන් ඒ කාලය තුළ ඇතිවිය හැකි අපල උපද්‍රව දුරුකර ගැනීමට හැකිවේ. ගැමියන් සුදුවතින් සැරසී විහාරස්ථානවල ආගමික කටයුතු සමග ඒකරාශි වන අතර, ඒ තුළින් ගම හා පන්සල අතර සම්බන්ධය ද නව ආරයකින් නව වසර තුළ ආරම්භ වේ.
ආහාර පිසීම
අප්‍රේල් මස14 වන සඳුදා, 04.04 AM
ඇඳුම - තඹ , දිශාව - දකුණ
අලුත් අවුරුදු උත්සවයේ කිරි ඉතිරවීම හා ආහාර පිසීම අතිශයින් වැදගත් සංස්කෘතික අංගයකි (ඇතැම් පළාත්වල කිරි ඉතිරවීමකින් තොරව ආහාර පිසීම පමණක්ද කෙරේ). කිරි ඉතිරිවීම කරන්නේ නම් පොල්කිරි හෝ එළකිරි යෙදවේ. සම්ප්‍රදායට අනුව නැවුම් මුට්ටියක් යොදා ගැනෙයි. මෙම චාරිත්‍රයේ වැදගත්ම කරුණ නම් කිරි උතුරා යාම සෞභාග්‍යයේ සංකේතයක් වීමයි. කිරි ඉතිරවීමෙන් අනතුරුව ආහාර පිසීම සිදු කෙරෙන පළාත් තිබෙන අතර ඇතැමුන් නැකතට ආහාර පිසීම ඇරඹීම සිදුකරන්නේ කිරිබතක් ලිපේ තබාය.
නොනගතයෙන් පසුව මුල්ම නැකත ආරම්භ වන්නේ ආහාර පිසීමේ අවස්ථාවෙනි. මෙය පැරණි ‘ගිනි දෙවියා පිදීමේ අවස්ථාවේ නව මුහුණුවරක් ලෙසද අර්ථකථනය කළ හැකිය. වෛදිකයෝ ‘අග්නි ගෝස්ත්‍ර’ පූජාව සිදු කළාක් මෙන් හෙළයෝ ළිප් බැඳ ගිනි මොළවා ආහාර පිස ගැනීම නැකතට සිදු කිරීම හරහා, නව වසරේ ආහාර අහේනියක් මතු නොවී නිවෙසට සිරිදුව පැමිණෙන බවට විශ්වාස කරති. මෙම නැකතට අනුව කටයුතු කිරීමේ වැඩි වගකීම පැවරී ඇත්තේ නිවසේ ගෘහණියට ය. එයට හේතුව ළිප ගිනි මෙළවීමේ හා ආහාර පිසීමේ කටයුතු ඇයගේ දෛනික කටයුතුවල ප්‍රමුඛස්ථානයක් ගන්නා කටයුත්තක් වන නිසාය. මෙහිදී ගෘහණිය නියම කර ඇති වස්ත්‍රාභරණවලින් සැරසී නැවුම් වළං මුට්ටිවල නැවුම් ආකාරයට සිදුකිරීම හරහා නව වසරට සුබාසිරි හිමිවන බව ගැමි විශ්වාසයයි.
වැඩ ඇල්ලීම, ගනුදෙණු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස14 වන සඳුදා, 06.44 AM
ඇඳුම - මුතු පාට හෝ සුදු පාට , දිශාව - දකුණ
නැකතට පිසින ලද ආහාර මුළු රටට එකම නැකතකින් අනුභව කිරිමේ චාරිත්‍රය ලොව කිසිදු රටක දක්නට නොමැත. පවුලේ සාමය හා රටේ සාමය පිළිබඳව නව සිතුවිලි ඇතිකර ගැනීමට කදිම අවස්ථාවක් මේ තුළින් හිමිවේ. නැකත නොඉක්මවා ආහාර අනුභවයෙන් නිරෝගී සම්පත ලැබෙන බව ද වසර පුරා ආහාර අහේනියක් මතු නොවන බව ද බවභෝග සම්පතින් ආඪ්‍ය වන බව ද පිළිගැනේ.
අවුරුදු මේසයේ තබා ඇත්තේ කිරිබත්, කැවුම්, කොකිස්, අතිරස සහ කෙසෙල් ගෙඩි වැනි විශේෂ ආහාර. ප්‍රධාන සමාජ සම්ප්‍රදාය වන්නේ ගමේ ප්‍රභූවරයා මේසය ඉඳුල් කරන බවයි. මුල් ගනුදෙනුව සිදු කරන්නේ ඔහුය. නැතහොත් ගෘහමූලිකයා එය සිදුකරයි. පසුව මේසයේ වැඩ කටයුතු පවුලේ සාමාජිකයින් අතර සිදු කෙරෙයි.
ආහාර අනුභවයෙන් පසුව ඊළඟට සිදුවන්නේ වැඩ ඇල්ලීමයි. මෙතුළින් අපේක්ෂා කරන්නේ අවුරුද්දේ සියලු කාර්යයන් සමෘද්ධවීම පිණිස කටයුතු ඉෂ්ටකර ගැනීමයි. එක් එක් අය තම වෘත්තියට ගැළපෙන ආකාරයෙන් තමන්ට අදාළ කටයුතු සුබ මුහුර්තියෙන් ඉටුකිරීම මින් අපේක්ෂිතය. කිරි ගසක අත්තක් කැපීම, අධ්‍යාපන කටයුතුවල නිරතවීම, තම වෘත්තියට අදාළව කම්මල්කරුවා මිටිය, පෙදරේරුවා මේසන් හැන්ද, සිත්තරා තෙලිතුඩ ආදී වශයෙන් අදාළ ආම්පන්න රැගෙන වැඩෙහි යෙදීම සිදුකරයි.
ඊළඟට යෙදෙන ගනුදෙනු කිරීමේ අවස්ථාව තුළින් අපේක්ෂා කරන්නේ ඉදිරි වර්ෂයේදී මුදල් හදල් අතින් කරදර වලින් තොරව කටයුතු කිරීමේ හැකියාව ලබා ගැනීමයි. ඒ සඳහා පිරිසිදු හදවතැති, යහමින් මුදල් ගැවසෙන අයෙක් සමග ගනුදෙනු කිරීම වැදගත් බව පැරණි ගැමි ආකල්පය විය. ගනුදෙනු කරන්නා, බුලත් කොළයක එතූ යම් මුදලක් පිළිගන්වන අතර එය භාරගත් අය ඊට වැඩිපුර මුදලක්ද එකතු කොට ආපසු ලබාදීම සිරිත විය. නිවැසියන් අතරදී පියා හෝ ගෘහමූලිකයා සමග ගනුදෙනු කිරීම සිදුවේ.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස16 වන බදාදා, 09.04 AM
ඇඳුම - කොළ පාට , දිශාව - උතුර
පුරාණ අවුරුදු චාරිත්‍ර අතර ප්‍රමුඛස්ථානයක් ලැබී ඇති ‘තෙල් ගාන නැකත’ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා කේශාන්තයේ පටන් පාදාන්තය තෙක් වැලඳෙන අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසීය තුනක් වූ ආන්ත්‍ර මුලිනුපුටා දමා ශාන්තිය ලබාගැනීමේ අභිප්‍රායෙන් සිදුකරන බව දැක්වේ.
මුළු ගම්මානයම පන්සලට එකතු වී නායක හිමියන්ගේ අවවාද අනුශාසනා මැද සිදුකරන මෙකී චාරිත්‍රය පන්සල හා බැඳී ගැමි බැඳියාව තවදුරටත් විස්තාරණය කරන්නට සමත් වේ. එමතු නොව වා, පිත්, සෙම් තුන්දොස් සමනය කර දීර්ඝායුෂ ලබාදීමට සමර්ථ හැකියාවක් හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය හා සමග බැඳී පවතින බව පැරැන්නෝ විශ්වාස කළහ. රජ සමයේදී මිනිසුන්ට පමණක් නොව අලි ඇතුන් හටද නැකතට හිසතෙල් ගැල්වීමක් සිදුවන අතර ප්‍රධාන පන්සල්වල මෙය දැනුදු සිදුවේ.
රැකී රක්ෂා සදහා පිටත්ව යාම
අප්‍රේල් මස17 වන බ්‍රහස්පතින්දා, 09.03 AM
ඇඳුම -රන් පාට, දිශාව උතුර
මෙය සිංහල අවුරුදු නැකත් සීට්ටුවෙහි අවසාන නැකත් විශේෂයයි. ගමනාරම්භයට පෙර එළකිරි මිශ්‍ර ආහාරයක් සමග කිරිබත් අනුභව කිරීම සුදුසු බව සඳහන් වේ.පැරැන්නෝ මෙම චාරිත්‍රය කුඹුරු වැඩ ආරම්භ කරන ගොවියා වෙනුවෙන් සකස් කර තිබෙන අතර වර්තමානයේ රැකියාවල ස්වභාවය අනුව මෙම දිනය දක්වා නිවසේ සිට රැකියාවට යාම ප්‍රායෝගිකව අපහසු කටයුත්තකි. කෙසේ වෙතත් අවස්ථාවට අදාළ චාරිත්‍ර ඉටුකිරීම වැදගත්ය.
Event | Date & Time | Details |
---|---|---|
නව සඳ බැලීම (New Moon Sighting) | මාර්තු 30 මැයි 01 |
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 30 වනදාද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි 01වනදාද නව සඳ බැලීම මැනවී. |
පරණ අවුරුද්ද සඳහා ස්නානය (Bathing for the Old Year) | අප්‍රේල් 13 ඉරිදා | දිඹුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. |
අළුත් අවුරුද්ද උදාව (New Year Dawning) | අප්‍රේල් 14 සඳුදා, පූර්ව භාග 03.21 | සිංහල අලුුත් අවුරුද්ද උදා වේ. |
පුණ්‍ය කාලය (Nonagathaya - Neutral Period) | අප්‍රේල් 13
අපර භාග 08.57
සිට අප්‍රේල් 14 පූර්ව භාග 09.45 |
අප්‍රේල් මස 13 වන ඉරිදා අපර භාග 08.57 සිට පසුදා එනම් 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වන ඉරිදා දින අපර භාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලුු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 03.21 සිට 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම. වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි. |
ආහාර පිසීම (Cooking Meals) | අප්‍රේල් 14 සඳුදා, පූර්ව භාග 04.04 | තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිණි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද දී කිරි හා විළඳ ද පිළියෙල කර ගැනීම මැනවි. |
වැඩ ඇල්ලීම, ගනුදෙණු කිරීම හා ආහාර අනුභවය (Commencing Work, Transactions & Meals) | අප්‍රේල් 14 සඳුදා, පූර්ව භාග 06.44 | මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා ගනුුදෙනුු කොට ආහාර අනුභවය මැනවි. |
හිස තෙල් ගෑම (Anointing Oil) | අප්‍රේල් 16 බදාදා, පූර්ව භාග 09.04 | පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොළොන් පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි. |
රැකී රක්ෂා සදහා පිටත්ව යාම (Leaving for Work) | අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා, පූර්ව භාග 09.03 | රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි. |
පැළ සිටුවීම (Planting) | අප්‍රේල් 18 සිකුරාදා, පූර්ව භාග 10.16 | විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම මැනවි. |
Comments
Post a Comment
Your comment will be visible after approval